මුලින් ම උපදෙස් කියවන්න

දයාබර දුවේ, පුතේ,

ඔබ අප හමු නොවන මෙම කාල වකවානුවේ ඔබගේ අධ්‍යයන කටයුතු හැකිතාක් අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා අප විසින් සරල පැවරුම් මෙම බ්ලොග් පිටුව මඟින් ඔබ වෙත සමීප කරවීමට කටයුතු කරන්නෙමු. මෙම බ්ලොග් පිටුව පැල්මඩුල්ල මහින්ද විද්‍යාලයේ දරු දැරියන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද අතර මෙම වකවානුවේ අප ඉදිරිපත් කරන පැවරුම් ලබා ගැනීම සියලු දෙනා හට එක හා සමානව සිදු කළ නොහැකි බවත්, විවිධ ප්‍රායෝගික ගැටලු පවතින බවත් අප දනිමු. එහෙත් ඔබට හැකි සෑම විටම මෙම පැවරුම් නිවසේ දී ඉටු කිරීමට කටයුතු කරනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ඒ සඳහා ඔබ දෙමාපියන්ගේ මෙන් ම වැඩිහිටි සහෝදර සහෝදරියන්ගේ ද උපදෙස් ලබා ගනිමින් දෙමාපිය අධීක්ෂණය යටතේ මෙම කටයුතු සම්පූර්ණ කරන්නේ නම් මැනවි.

 පැවරුම් ලබා ගැනීම සඳහා මෙම බ්ලොග් පිටුවට පිවිසෙන ඔබ, මහින්ද විද්‍යාලයේ දරැවෙක් නම් පමණත් නම හා පන්තිය ඇතුලත් කරන්න කොටසට මෙතැනින්  පිවිස ඔබේ නම හා පන්තිය එහි දක්වා ඇති උපදෙස් අනුව ඇතුලත් කරන්න. මෙය එක් වතාවක් පමණක් ඇතුලත් කිරීම ප්‍රමාණවත් වන අතර, එ මඟින් ඔබ මෙම කටයුත්ත පිළිබඳ දැනුවත් වී පැවරුම් ඉටු කිරීම ආරම්භ කර ඇති බවට අප වෙත තොරතුරු ලබා ගත හැකි ය. මෙහි දී පළමුව ඔබ ඔබේ ශ්‍රේණිය වෙත පිවිසීම කළ යුතු ය. එහි දී විවෘත වන පිටුවේ අදාළ ගුරු භවතුන් විසින් ඉදිරිපත් කරන පැවරුම් ඔබට දැක ගත හැකි වේ. එක් එක් ශ්‍රේණි අනුව විෂය පැවරුම් ඉදිරිපත් කරන්නේ එක් ගුරු භවතකු පමණක් වුවද, ඔබ විසින් ඉටු කරන පැවරුම් තම පන්තියේ අදාළ විෂය භාර ගුරු භවතාගේ වගකීම වන්නේ ය.

මෙසේ ඉදිරිපත් කරන පැවරුමක අංකයක් සඳහන් වන අතර ඉදිරිපත් කරන ගුරු භවතාගේ නම ද සඳහන් කරනු ලැබේ. ඒ අනුව ඔබගේ ශ්‍රේණියට අදාළ පිටුවෙහි සියලු විෂය පැවරුම් යාවත්කාලීන වන අතර මුල් පැවරුම් පිටුවේ පහළම කොටසෙහි වන පරිදි ඇතුළත් වේ.
උදා-   10 ශ්‍රේණිය   ගණිතය   (පැවරුම් අංක 01)   රෝහිණී ජයලත් මිය
          10 ‍ශ්‍රේණිය   විද්‍යාව     (පැවරුම් අංක 01)   සුසන්ත සූරියආරච්චි මයා 

ඔබ විසින් පැවරුම් සම්පූර්ණ කිරීමේ දී අදාළ පැවරුම පරිගණක තිරයේ හෝ ස්මාර්ට් ජංගම දුරකථනයේ තිබිය දී අවශ්‍ය කඩදාසි සපයා ගත යුතු වේ. හැකි පරිදි පැවරුම පිටපත් කරගෙන පිළිතුරු සපයන්න. එම පිළිතුරු ලියන කඩදාසියේ ඉහළ ඔබගේ නම, පන්තිය, විෂය, පැවරුම් අංකය හා පැවරුම් ඉදිරිපත් කළ ගුරු භවතාගේ නම අනිවාර්යයෙන් සඳහන් කරන්න. අවම වශයෙන් සතියකට වරක් එක් විෂයකින් එක් පැවරුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන අතර, ඔබ සම්පූර්ණ කරන පැවරුම් එක්රැස් කර ෆයිල් කවරයක බහා නැවත පාසල ආරම්භ වන දිනයේ තම පන්ති භාර ගුරු භවතා වෙත භාර දීමට කටයුතු කරන්න.

පැවරුම් ඉටු කිරීමේ දී ඔබගේ පෙළ පෙත් නිරන්තරයෙන් පරිශීලනය කිරීමට යොමු වීම වැදගත් වන අතර විවේක අවස්ථාවන්හි දී පෙළ පොත්වල සියලු පාඩම් කියවීමට යොමු වීම යෝග්‍ය වේ.

මෙම පැවරුම් සම්බන්ධව ඔබට පවතින ගැටලු හෝ අදහස් mahindavidyalayablog@gmail.com යන විද්‍යුත් ලිපිනයට ඊ මේල් පණිවුඩයක් මගින් යොමු කළ හැකි ය. එසේ යොමු කිරීමේ දී ඔබගේ නම, පන්තිය, දුරකථන අංකය සඳහන් කිරීමට කාරුණික වන්න.

මෙයට,
ඔබේ ආදරණීය ඇදුරු මඩුල්ල